විහාරාධිපතීන් වහන්සේගේ පණිවුඩය සහ ධර්මවිජය පිරිවෙණ


 විහාරාධිපතීන් වහන්සේගේ පණිවුඩය

සම්මා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මෙන් ම ශ්‍රී ලංකාද්වීපයේ භික්ෂු අධ්‍යාපනය වෙනුවෙන් පුරා වර්ෂ 160 කට අධික කාලයක සිට අමිල මෙහෙවරක යෙදී සිටින දකුණු කළුතර ශ්‍රී පූර්වාරාම ධර්මවිජය පිරිවෙණ කළුතර නගරයට ආලෝකයක් ලබාදෙන සිද්ධස්ථානයක් වේ.
නූතනයේ මෙම විහාරස්ථානයේ විහාරාධිපතීන් වහන්සේ ලෙස අපගේ ප්‍රයත්නය වන්නේ පෙර සිටි යතිවරැ කරගෙන ආ නොනිමි මෙහෙවර සිදුකිරීම හා කාලීන අවශ්‍යතා අනුව පිරිවෙන් විහාරස්ථානය සංවර්ධනය කිරීම යි. පුද්ගල සංවර්ධනය හා භෞතික සංවර්ධනය  යන දෙඅංශය ම නගාසිුවීම අපගේ බලාපොරොත්තුව යි. ඒ අනුව පිරිවෙන්හි අධ්‍යාපනය ලබන ත්‍රෛනිකායික සාමණේර හිමිවරුන්ගේ ප්‍රමාණය හැත්තෑපහක් දක්වා වර්ධනය වී ඇති අතර 2019 වන විට සියයක් දක්වා වැඩි කරගැනීම අපගේ ඉලක්කය වේ. දැනට නේවාසිකව වැඩවසන හිමිවරුන්ගේ ප්‍රමාණය 25 නමක් වන අතර එය 50 දක්වා වැඩි කරගැනීමට අපේක්ෂා කරමි.
බොහෝ දෙනාගේ හිතසුව සැලසීම, මුල මැද අග යහපත් වූ ධර්මය දේශනා කිරීම හා සංඝ ශෝභන ගුණයන්ගෙන් පරිපූර්ණ සිල්වත්, ගුණවත් භික්ෂු පිරිසක් ඇති කිරීම් වස් දිනපතා තෙරුවන් වන්දනය, උදේ-සවස වත පිරිත් දේශනය පිළිබඳ ප්‍රායෝගිකව ම පුහුණුවක් ලබාදෙන අතර පිරිත් පිරීම, අනුශාසනා කිරීම් ආදී ශාසනික කාර්යයන් ද සතිපතා පුහුණු කරනු ලැබේ.
සතියේ දිනවල පස්වරු 01.00 සිට 06.00 දක්වා පිරිවෙණ පැවැත්වෙන අතර සෑම ඉරු දිනක ම පෙ.ව. 07.30 සිට ප.ව. 12.00 දක්වා දහම් පාසල පවත්වනු ලැබේ. එසේ ම සෑම පොහෝ දිනක ම පෙ.ව. 6.00 සිට පස්වරු  06.00 දක්වා ප්‍රතිපත්ති මාර්ගයෙහි ගමන් කිරීම් වස් දාන, සීල, භාවනා, ධර්ම සාකච්ඡාදී කාර්යයන් ඔබ සඳහා ද විවෘතව පවතී. පිරිවෙන් විහාරස්ථ දායක සභාව, ශ්‍රී ධර්මචාරිණී කාන්තා සමිතිය ධර්මවිජය තරැණ සංසදය හා ධර්මවිජය පදනම මගින් විවිධ ආගමික, සමාජ සේවා කටයුතු සංවිධානය කරන අතර ගුණ-නැණ පිරි මානව සාරධර්ම අගයන සාමකාමී වටපිටාවක් ඇති කරලීමට ද මෙම විහාරස්ථානය මගින් විවිධ කාර්යයන් නිරන්තරයෙන් ම සංවිධානය කෙරේ.
සම්බුද්ධ ශාසනය දෙදහස්පන්සිය වසරක් පුරා රැකගෙන ආවේ ගිහි-පැවිදි සබඳතාව මුල්කරගෙන ය. වෙහෙර විහාර ගොඩනගා ඇත්තේ ඔබගේ හා ඔබගේ මුතුන්මිත්තන් ලබාදුන් ශ්‍රම දායකත්වය හා මූල්‍යමය සහාය හේතුවෙනි.
කළුතර නගරයට ආදර්ශමත් පිරිවෙණක් ඇති කිරීම අපගේ ඉදිරි දැක්ම යි. එය පසක් කරගැනීමට මෙම විහාරස්ථානය මගින් සිදුකෙරෙන කාර්යයන් වඩාත් කාර්යක්ෂම කරගැනීම සඳහා දානශාලාවක් සහිත දෙමහල් භික්ෂු නේවාසිකාගාරයක් ඉදිකිරීමට ආරම්භ කර ඇත. රුපියල් ලක්ෂ දෙසීයක් පමණ වැය වෙතැයි ගණන් බලා ඇති මෙම සත්කාර්යය නිමා කරගත හැක්කේ ඔබගේ මෙන් ම පරිත්‍යාගශීලීන්ගේ ද සහාය අප වෙත ලැබුණහොත් පමණි. ගමත්-පන්සලත්, භික්ෂු-භික්ෂුණී, උපාසක-උපාසිකා පිරිස් සමගියෙන් සමාදානයෙන් කටයුතු කරන තාක් පමණි. මේ රටේ සම්බුදු සසුන පවතින්නේ අප නිරන්තරයෙන් ම උත්සාහ දරන්නේ පන්සලෙන් ගමටත් ගමෙන් පන්සලටත් යහපතක් සිදුකරලීමට ය.
සම්බුදු සසුන වෙනුවෙන් යොදන දේ සංසාර ගමනට මහත් ආයෝජනයක් වන නිසා පරිත්‍යාගශීලී චේතනාවක් ඔබට ඇති වන්නේ නම් ලංකා බැංකුව, කළුතර ශාඛාවේ ස්ථාපිත දකුණු කළුතර ධර්මවිජය පිරිවෙන් විහාරස්ථාන කාර්ය සාධක සමිතිය නමින් පිහිටුවා ඇති අංක 2040113 ගිණුමට ඔබගේ පරිත්‍යාග යොමුකරන මෙන් සිහිපත් කරමි. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස කටයුතු කිරීමට ඔබ සැමට ශක්තිය, ධෛර්යය හා වාසනාව උදා වේවායි ද තෙරුවන් සරණ ලැබේවායි ද ප්‍රාර්ථනා කරමි.

මහාචාර්ය රජකීය පණ්ඩිත නෙලුවේ සුමනවංස ස්ථවිර
විහාරාධිපති