ධර්මවිජය පිරිවෙණ්හි ආරම්භය



                             වේලාපුර කළුතරට භික්ෂු ආරාමයක්  

  වේලාපුර කළුතරට භික්ෂු ආරාමයක්

මහනුවර රාජ්‍ය යුගයේ භික්ෂූන් වහන්සේලාට උපසම්පදාව ලබාගැනීමට තිබුණේ මහනුවර මල්වතු අස්ගිරි විහාර දෙක පමණි. ඒ නිසා පහතරට සිට උඩරටට පාගමනින් ගමනාගමනය කළ භික්ෂූන් වහන්සේලාගේ එක් නවාතැන් පළක් ලෙස තෝරාගත්තේ කළුතර ආගන්තුක ආවාසය යි. කඳු ගැටයක මෙය පිහිටීම නිසා කළුතර කන්ද පන්සල යැයි ද හඳුන්වා තිබේ. මෙම තාවකාලික නැවතුම් පළ ස්ථිර ආවාසයක් බවට පත් වූයේ ප්‍රදේශවාසීන්ගේ දැඩි ඉල්ලීම මත බෙන්තර බෝධිමළු විහාරය, බෙම් වෙහෙර රාජමහා විහාරාධිපති පහතරට මහානායක බෝධිමළුවේ විසුද්ධාභිධාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ගරු මහලේල්වල සුනන්ද හිමියන් (ක්‍රි.ව. 1848) මෙහි නේවාසිකත්වයට පත් කිරීමත් සමග ය. 1852 දී ගරු නවුත්තුඩුවේ සිද්ධාර්ථ හිමි (1852-1861) එවකට මෙහි තිබූ ධර්මශාලාවේ පූර්වාරාම ශාස්ත්‍රශාලාව නමින් අධ්‍යාපන ආයතනයක් ආරම්භ කළහ. ක්‍රි.ව. 1855 දී බෙනරගම විදානේලාගේ කරෝආරච්චි විහාරස්ථානයට අවශ්‍ය ඉඩම් සඟ සතු කොට පරිත්‍යාග කර තිබේ.
අනතුරුව පූර්වාරාම ශාස්ත්‍රශාලාවේ අධිපති ධුරයට ගරු අංගාගොඩ මෙධංකර හිමි (1861-1892), ගරු ඕමත්තේ විපස්සී හිමි (1892-1899), ගරු ඕමත්තේ සුමනතිස්ස හිමි (1889-1900), ගරු මුල්ලේරියාවේ සුමතිපාල හිමි (1901-1905) පත් වූහ. ගරු මුල්ලේරියාවේ සුමතිපාල හිමියෝ මෙම ස්ථානය කළුතර පූර්වාරාම පිරිවෙණ යැයි නම් කළහ. ඉක්බිතිව ගරු ආඳාවල සාරානන්ද නාහිමියෝ (1905-1945) ආධිපතිත්ත්වයට පත් වූහ. මුන්වහන්සේ කොළඹ මාලිගාකන්ද විද්‍යොදය පිරිවෙණේ දීප්තිමත් ශිෂ්‍යයකු වූ අතර අවස්ථා පහක දී එවකට ලංකාවේ ආණ්ඩුකාර සර් ආතර් හැමිල්ටන්, සර් ආතර් එලිබෑන්ක්ගෙන් ත්‍යාග ලබා ඇති ස්‍යාම රාජ ත්‍යාගය ද හිමි කර ගත් විචක්ෂණ, විශාරද පඬිවරයෙකු වූහ. මෙම ස්ථානය කළුතර ශ්‍රී පූර්වාරාම ධර්මවිජය පිරිවෙණ බවට පත් කළේ උන්වහන්සේ ය. ඒ වන විටත් මෙහි ස්ථාපිතව තිබූ කළුතර බෙෳද්ධ පාඨශාලාවේ ප්‍රධානාචාර්ය ධුරය ද හෙබවූහ. ශ්‍රී බුද්ධ වර්ෂ 2449 දී ඉදිකර ඇති විහාරස්ථ ඝණ්ඨාර කුළු‍ණේ නිර්මාපකයා ද උන්වහන්සේ ම වෙති. තත්කාලීනව පැවැති රජය සමග සමීප සබඳතා පැවැත්වූ ගරු ආඳාවල සාරානන්ද නාහිමියෝ vii වන එඩ්වඩ් රජු අනුස්මරණය කිරීම සඳහා රජයේ අනුමැතිය ලබාගෙන 1912 දී කළුතර ඇඩ්වඩ් ආවාසය නමින් සංඝාවාසයක් මෙම ස්ථානයේ ඉදිකළහ. කළුතර බෝධිපූජා සමිතිය ආරම්භ කොට කළුතර බෝධීන් වහන්සේ රැකගැනීමට ද සුවිශාල කාර්යභාරයක් ආඳාවල සාරානන්ද හිමියෝ ඉටුකළහ. 

කළුතර ශ්‍රී පූර්වාරාම ධර්මවිජය පිරිවෙණ

ක්‍රි.ව. 1945 දී විහාරාධිපති පදවියට පත් වූ ගෙෳරවාර්හ දෙදියවල දෙවසුමන නාහිමියෝ (1945-2015) පිරිවෙණේ උන්නතිය සඳහා සුවිශාල කාර්යභාරයෙක් ඉටුකළහ. ධර්මශාලාව, සංඝාවාසය, පුස්තකාලය සහිත ධාතු මන්දිරයක් ගොඩනැගිල්ල ඉදිකරවන ලද්දේ උන්වහන්සේ විසිනි. රමණීය විහාර මන්දිරය ඉදිකර වූ උන්වහන්සේ විහාරස්ථානයට වාහන ගමනාගමනය සඳහා පාර ද ඉදිකළ අතර දර්ශනීය ශෛලමය ප්‍රාකාරයක් කැටයම් ද සහිතව සාදවා ඇත්තේ විශිෂ්ට අන්දමකිනි. කළුතර තොටමුණ උපප්‍රධාන සංඝනායක ධුරය දැරූ ගරු දෙදියවල දෙවසුමන නාහිමියෝ විහාරස්ථානය අංග සම්පූර්ණ කිරීම් වස් චෛත්‍යයක් ද දෙමහල් ධර්මශාලාවක් ද ඉදිකරවූහ. දෙදියවල දෙවසුමන අරමුදල ද පිහිටුවා ඇත්තේ ස්ථානයේ අනාගත සුරක්ෂිතතාව ඇති කරනු සඳහා ය. පැවිදි ශිෂ්‍යයන් 25 නමකගේ ආචාර්යයන් වහන්සේ වන දෙවසුමන නාහිමියෝ කළුතර නගරයට ආගමික, ශාසනික, සාමාජික හා අධ්‍යාපනික වශයෙන් යුග මෙහෙවරක් කළ සංඝපිතෘවරයාණන් වහන්සේ නමක් වෙති. එදා ආදම් වීදිය ලෙස හැඳින්වූ මාර්ගය ශ්‍රී සාරානන්ද මාවත බවට නම් කරවන ලද්දේ ද උන්වහන්සේ විසිනි. සියලු විහාරාංගයන්ගෙන් පරිපූර්ණ මහාවිහාරයක් බවට මෙම ස්ථානය පත්කරලීමට දූරදර්ශීව මෙන් ම ආදර්ශ සම්පන්නව දෙදියවල දේවසුමන නාහිමියන් දරා ඇති ප්‍රයත්නය සැබවින් ම ප්‍රශංසනීය වේ.

     (1945-2015) කළුතර ශ්‍රී පූර්වාරාම ධර්මවිජය පිරිවෙණේ උන්නතිය සඳහා සුවිශාල කාර්යභාරයෙක් ඉටුකළ

දෙදියවල දේවසුමන නාහිමියන්